බැත රැකීම
කොළදින් කාලෙට ගම වෙනස්. නගරබද ජීවත් වෙන අයට මේ වෙනස් පෙනෙන්නෙ නෑ. නමුත් ගමේ අඩි පාරක, වෙල් යායක ඇවිදින ගැමියෙකුට මේ වෙනස් පැහැදිළියි. වැස්ස නැති මේ කාලේ කුඩයක්, තල අත්තක් තියා ඔළුව උඩින් දැමූ ගෝනි මල්ලක් වත් දකින්න නෑ. ඒ වගේම මඩ තැවරුන ගොවියෝ ඇලේ, වෙලේ නෑ. නගුල්, උදලු වෙනුවට ගැමියෝ අතේ තිබුනේ දෑකැතියි උකුනුගසුයි. කුඹුරු වැඩ කාලේ උදේ වරුවේ කුඹුරු කෙටූ ගොවියෝ කොළදින් කාලේ දවල් වරුවේ ගොයම් කපලා රෑට කොළමඬිනවා. ගොයම් කවි කියමින් උදේ පැල සිටවූ ගොවිලියෝ කැපූ ගොයම් මිටි කමතට ගෙනෙනවා. වෙලේ කොක්කු වෙනුවට දැන් රජ කරන්නේ වී කුරුල්ලෝ.
කන්නක අස්වැන්න එකතුව ගැමි වී වගා චක්‍රයේ අන්තිම අදියරයි - එය කඳු නගින්නෙකුට කඳු මුඳුනට ඇති අවසාන අඩි කිහිපයට සමානයි. ගොවි සැනසුම් සුසුම් සමග සුහදතාවත් ගොඩනැගෙනවා - වෙළඳාමට ලොකු රුකුලක්.
“ඊයේ වේල්ලමුලපෑලේ?”
“හ්ම්… එකොලහ වෙනකොට ඉවරයි!”
මේ දවස්වල මේ වගේ ප්‍රශ්න උත්තර තේරුම් කරලා දෙන්න අව්ශ්යතාවයක් නෑ. සේරම දන්නවා කොළදිම තිබුන කුඹුර. ඊයේ කොළදිම නිසා කඩේ නොහිටපු අයත් අද ඉන්නවා - මුදලාලිට සන්තෝසයි.
“බංඩයියා හුලං ඉස්කෝතුවක්?”
ටොම් බංඩට ඒක ඇහුන බවක් පෙන්නුවෙ නෑ.
“හැබෑට් වේල්ලමුලපෑල පැත්තේ ගිය දවසක් මතක නෑ… අර වවුල් ගහ එහෙමමද?”
“අප්පේ… වවුල් ගඳ ඉවසන්ට බෑ… අනික ගහ යටින් යන්ට බෑ - උන් හුජ්ජ කරනවා දවලුත්!”
බිසෝගෙ කොල්ලගෙ කතාවට කවුරුත් හිනාවුනේ නෑ, දනපාල මාමා යමක් කියන කල්.
“ආයෙ ඒකට කරුවළ වෙනකන් ඉන්ටයෑ!”
දනේගෙ කතාවට කඩේ ඇතුලේ පොඩි හිනාවක් පැතිරිලා ගියා, ටොම් බංඩා හිනා නොවුනට.
“දන්නවද ගහ යටින් කවුරුත් ඇවිදින කොට වවුලෝ වැඩිපුර කෑ ගහනවා කියලා? අර පොඩි එකා කිව්ව වගේ එතකොට උන් චූ කරනවත් වැඩී!”
“ඒ මොකද බංඩයියා?’
“තමංගෙ පළාතට අයිතිය පෙන්නන්ට වෙන විදිහක් උන්ට නෑනෙ බං… හැබැයි ඒ ඇයි කියලා හරියටම දන්නේ වවුලෝ විතරයි ඩිංගිරිඅම්මා….”
“වවුලොත් උන්ගෙ පළාත් මායිම් ගැන දන්නවා!”
“අනික් සත්තුන්ට පුළුවන් නම් ඇයි උන්ට බැරි? වැඩේ තියෙන්නේ මිනිස්සුන්ට වගේ නෙවෙයි… වවුල් ගහ යට බිමට වැඩිය විශාලයි උන්ගෙ අහසේ පළාත…”
මේ ‘අහසේ අයිතිය’ අදහස අළුත් එකක් - මුදාලිගෙ පටන් බිසෝගෙ කොල්ලා දක්වා සේරම ඒ ගැන හිතන්න පටන්ගත්තා. ටොම් බංඩගෙ කතා ඒ වගේ. නිතරම අළුත් අදහස් ඉදිරිපත් වෙනවා. ඉස්සරවෙලාම ප්‍රශ්නයක් ඇහුවේ එගොඩවත්තේ මහතුන්. අක්කර කිහිපයක් අයිති මහතුන් ඉඩම් මායිම් සහ ඔප්පු ගැන දන්නවා.
“ඉඩම් ඔප්පුවකින් අපිට අයිතිය තියෙන්නේ වගා කරන්ට පුළුවන් පොළොවට විතරයි - අහසටවත් පොළව යටටවත් අයිතියක් නෑ - එහෙම නේද බංඩයියා?”
“මහතුන් මල්ලී හරි - ඉඩමේ පොළව යට තෙල් තිබුනත් ඒක අයිති ඉඩම් හිමියට නෙවෙයි - අයිති ආන්ඩුවට. අහසත් එහෙමයි!’
“ඒක හරි වැඩක්නේ! මං හිතුවේ ඉඩමක් කියපුවම උඩයි යටයි අයිතියත් එක්ක ඔප්පුවේ තියෙන්නේ කියලා…”
“වෙන එකක් තියා ඉඩමේ ගලාගෙන යන වතුරත් ආන්ඩුවේ - ඒකයි ඇලක් හරස්කරලා වැවක් හදන්ටවත් ඉඩම් අයිති කාරයට බැරි”
මේ අළුත් අදහසත් හිතන්න වටින එකක්. මුදලාලී හිතුවේ තව තේ සහ බීඩි විකුනන්න හොඳ වෙලාවක් කියලා. අළුතෙන් ප්‍රශ්නයක් ඇහුවේ දනපාල - බංඩයියා ටිකක් අවුස්සගන්න හිතලා.
“බංඩයියා කිව්ව නේද කවුරුත් වවුල් ගහ යටින් යනකොට උන් සද්ද කරනවා, චූ කරනවා වැඩියි කියලා? සතෙක් ගහ යටින් ගියත් එහෙමද?”
දනපාලගෙ න්‍යාය බංඩට තේරෙනවා. ඒකට හොඳම ප්‍රතිචාරය දනේට එකඟවීම බවත් බංඩා දන්නවා.
“දනේට වැඩේ තේරෙනවා. වවුලන්ගෙ ඇස් හොඳ නැතිවුනාට කන් හරිම තියුණුයි. ඒ නිසා නොපෙනුනත් පොඩි ඌරුමීයෙක් වගේ සතෙක් වුනත් ගහ යටින් යනකොට දැනෙනවා… පැල් රකින අයට, කමතේ බැත රකින අයට එහෙම වවුල් ගහ හරියට මුර බල්ලෙක් වගේ”
“බංඩයියා එහෙම රෑ ඉඳලා තියෙනවද? තනියම?”
……………………………………..
ඒ දවස්වල මම ඔය නිලමෙගෙ කුඹුරු සේරගෙම බැත රැක්කා [බංඩා කතාව පටන්ගත්තා]. වේල්ලමුලපෑලෙම කන්න ගානක් බැත රැක්කා - ඒකේ තනියම බැත රකින්ට මිනිස්සු කැමති නෑ - හොල්මන් තියෙනවා කියලා. මට ඒව්වා ඒ හැටි ගානක් නෑ ඒ කාලේ - ආයෙ හොල්මන් දැකලා නැති කෙනෙක් නෙවෙයිනේ.
[බංඩා කණ පිටිපස්සෙන් බීඩියක් අරගෙන පරෙස්සමෙන් ඒක දැල්වුවේ දනේ දීපු ගිනි පෙට්තියෙන්. දුම් වලල්ලක් ඇරලා ආයෙත් කතාව ඇරඹුවා]
වේල්ලමුලපෑලේ කිසි රීරි යකෙක් නෑ! අපෙ මිනිස්සු නිකමට බයවෙන්නේ. මං කියන්නෙ නෑ හොල්මන් වල බයවෙන්ට ඕන නෑ කියලා. උඹලා දන්නවා නේ මමත් හොඳටම බයවෙලා හිටපු වෙලාවල්. නොතේරෙන දේ වලට බයවීම මනුස්ස ගතියක්. හැබැයි එහෙම බයයි කියලා කිසිම දෙයක් නොකර ඉඳීම මෝඩ කමක්! හිතලා බලාපන් හොල්මන් තියෙනවා කියලා රෑ ගමන් යන එක නැවැත්තුවානම් ආයෙ මට ගෙදර යන්ට බෑ! ඉඳලා හිටලා හොල්මන් දැක්කා… බය වුනා… කියලා මට ජීවිතේ කා ගන්ට බෑ. අනික… හොල්මන් කියන දේ හැම වෙලාවෙම අපි බය කරන්ටම නෙවෙයි උත්සාහ කරන්නේ.
[බීඩි ගුරක්]
මට මතකයි බය නොවෙන හොල්මන් දැකපු හැටි වේල්ලමුලපෑලේ… කන්දේ දෙයියන්ට පින්සිද්ධ වෙන්ට ඒ මහ කන්නේ අස්වැන්න හොඳයි,. කොළමැඩලා ඉවර වෙලා මිව්වෝ ලියද්දට දාලා බැඳලා ඉවරවෙනකොට රෑ දොලහ පහුවෙලා. අපෙ මැනිකෙට පින්දෙන්ට ඕනෑ වැඩ ඉවර වෙන්ට ඔන්න මෙන්න කියලා ගෙදරින් එවාපු ඉඹුල් කිරිබත් වලට. එතකොට කමතේ ඉතුරුවෙලා හිටියේ පස් හය දෙනෙක් විතරයි, මහ වැඩටික ඔක්කොම ඉවර හින්දා. පිදුරු ගොඩ ගහලා, බැතේ වහලා අපි තේ බොන්ට වාඩිවුනේ.
කොළදිමක් ඉවරවෙලා මොකවත් කාලා තේ බොනකොට පුදුම සන්තෝසයක් දැනෙන්නේ. ඒ කියන්නේ කන්නේ වැඩ හුඟක් ඉවරයි. කමතේ ආයෙ තියෙන්නේ බැත වේලන, හුළං කරන/පොළන වැඩයි, පිදුරු වල වැඩ ටිකයි. ඒවා හරියට මාස ගානක් කෑම උයලා එදා රෑ පිඟානට බෙදනවා වගේ.
පසලොස්වක පහුවෙලා දවස් කීපයක් හින්දා හොඳට හඳ එලිය. අපි ඉඹුල් කිරිබත් කකා තේ බිව්වේ පැලේ බංකුවේ හරි ලඟම නියරක් උඩ වාඩිවෙලා. එතකොට තමා පරණ කතා එලියට එන්නේ. ඒ දවස්වල බටුකොටුවේ උන්ඳෑ තමා පරණ් කතා වලට දස්ස.
මට මතකයි එදා කියවුන කතා. කිව්වට මොකද… උන්දැගෙ හුඟක් කතා.. අ… ගමේ ගොඩේ සාමාන්‍ය කතා. හැබැයි උන්දෑ ඒවට පස්සේ හැඩවැඩ දාලා සරසලා. තේරෙනවා නේ මං කියන දේ? වත්තේ සුද්දට කණට ගහපු කතාව අපි සේරටම ඇල්ලුවා - උන්දෑ කතා රසකරලා කියන්ට දන්නවා. [ඊට කන්න තුනකට ඉස්සර සුද්දට බැන්නා විතරයි]
අපෙ මිනිස්සුන්ගෙ හැටියක් වෙන්ට ඇති වැඩි වෙලා යන්ට ඉස්සර හොල්මන් මාතෘකාව එලියට ආවා. හැබැයි එදා කතාවුනේ රීරි යක්කු ගැන නෙවෙයි - සාමාන්‍ය එදිනෙදා දකින දේ හැටියට එන හොලමන්… වවුල් ගහ නිසා වෙන්ට ඇති වවුලෝ හොල්මන් හැටියට ආපු කතා කියවුනේ.
එදා තමා මට ඇහුනේ ඔය වවුලන්ගෙ ඇස් වලට වඩා කණ් හොඳයි කියන කතාව. දවසක් බටුකොටුවේ උන්දෑ වේල්ලමුලපෑලේ වැඩ කරලා, අනික් මිනිස්සු ගියාට පස්සේ එතනම පහල ඔයට බැහැලා නෑවා. එතකොට වටින් පිටින් කරුවල වේගන එනවා. කමත් ලඟින් උඩට නැගලා වවුල් ගහ ලඟ නැවතුනාලු ඉටිපන්දම පත්තු කරගන්ට. වවුල් චූ වලින් බේරෙන්ට කඳට හේත්තු වෙලා, වවුලෝ ඉන්නේ අතුවල එල්ලිලා හින්දා. හැබැයි ටිකක් වෙලා යනකොට වවුලන්ගෙ සද්දේ අඩුවෙලා - චූ අඩුවෙලා. එතකොට උන්දැට මතක්වෙලා එයා කිසිම සද්දයක් නොකරපු බව. ඒ කියන්නේ වවුලෝ දන්නෙ නෑ ගහ යට මිනිහෙක් ඉන්නවා කියලා. බටුකොටුවේ උන්දත් වවුලෝ දිහා බලාගෙන ඉඳලා, සද්ද නැතුව.
උඹලා දන්නවානේ ගහේ එල්ලිලා ඉන්න වවුලෝ හරියට කළු සුරුට්ටු වගේ ඈතට පේන්නේ. මේ කිරි වවුලෝ නෙවෙයි - මාවවුලෝ, ලොකු එවුන්. උන්දෑ කිව්වේ උඩ අතුවල එල්ලිලා හිටපු ‘සුරුට්ටු’ හිමින් හිමින් කඳ පැත්ත ආවා කියලා. ඒත් එක්කම උන් ටික ටික ලොකු වෙනවා කියලා… එයා බලාගෙන හිටියා මිස කිසි දෙයක් කරේ නෑ. ඊලඟට උන් කඳ දිගේ බහින්ට පටන්ගත්තලු.
… ඊ ලඟ ටික මට විස්වාස කරන්ට අමාරුයි… අපෙ මනුස්සයා කිව්වේ ගහෙන් බිමට බැහැපු වවුලෝ පොඩි කළු කොල්ලෝ වෙලා වෙල පහලට දිව්වා කියලා… අපි කවුරුත් මොකුත් කිව්වෙ නෑ, උන්දැගෙ වයස හින්දා… හැබැයි උන්දෑ කිව්වේ කොල්ලෝ වෙලට දුවනවා එක්කම උන්දැත් ගෙදර යනකන් දිව්වා කියලා…”
ඊට පස්සේ ආයෙ කතා කිව්වෙ නෑ. වැඩි වෙලාවක් යන්ට ඉස්සර කමතේ මං විතරයි; අනික් අය ගෙවල් වලට ගිහින්. එලියට තිබුනේ ලන්තෑරුමක් විතරයි. පිදුරු උඩින් පැදුර එලලා, ලන්තෑරුම නිමලා මමත් පොඩ්ඩක් නිදාගන්ට ලෑස්තිවුනා.
හඳ එලිය තවම හොඳට තිබුනා. මම පැදුරේ දිග ඇදිලා අළුත ගොයම් කැපූ ලියදි දිහා බලාගෙන හිටියා - කළු සුදු පින්තූරයක් වගේ, කිසිම සද්දයක් නෑ, කිසි සෙලවීමක් නෑ. නින්දට යන්ට නියමයි. ඒ වෙලාවේ තමා මං බල්ලා දැක්කේ.
[තේ උගුරක්. නිවීගිය බීඩිය මිදුලට විසි වෙනවා]
නිකන් ගමේ බල්ලෙක්. වවුල් ගහ ලඟින් වෙලට බැහැලා නියර දිගේ එනවා මං බලාගෙන හිටියා. ලියද්දෙන් ලියද්දට මිනිස්සු එන පාරෙන්ම ඇවිත් කමත ලඟ උඩ නියරේ නැවතිලා මා දිහා බැලුවා. මම මොකවත් කියන්ටත් ඉස්සර ඌ කමතට බැස්සා… හැබැයි බැහැපු ගමන් නැතිවෙලා ගියා… ආයෙ පේන්ට නෑ… මං වැඩිය ගානක් ගත්තෙ නෑ - පිදුරු ගොඩ පිටිපස්සට යන්ට ඇති කියලා හිතලා. එතකොට තමා දෙවෙනි බල්ලා වවුල් ගහ ලඟින් වෙලට බැස්සේ…
[තව තේ උගුරක්]
ඒ බල්ලත් ඉස්සරවෙලා එකා වගේමයි. ආවෙත් ඒ විදිහටමයි; නියරවල් දිගේ ඇවිත් බැහැලා කමත් ලඟ නියරේ නැවතිලා මා දිහා බැලුවා… කමතට බැස්සා… ඌත් නෑ… මං ටක් ගාලා වවුල් ගහ දිහා බැලුවා… හිතුවා වගේම තුන් වෙනි බල්ලා ගමන පටන්ගත්තා… අනේ මන්දා බං මං කවදාවත් එච්චර බල්ලෝ දැකලා නෑ. එක හැඩේ, කරේ එකම දේ… අන්තිමට නොපෙනී ගියේ මං හිටපු කමතේ අනික් කොනේ.
මං කිව්වා නේද හැම හොල්මනක්ම අපි බය කරන්ට නෙවෙයි එන්නේ කියලා… ඒක මට ඒත්තු ගියේ එදා.
……………………………………
පළවෙනි ප්‍රශ්නේ ආවේ දනපාලගෙන්.
“ඈ බංඩයියා… ඔච්චර බල්ලෝ රැලක් ඇවිල්ලත් ගලක් වත් ගහන්ට හිතුනෙ නැද්ද?”
ටොම් බංඩගෙ බැල්මෙන් පෙනුනා ඒක මෝඩ ප්‍රශ්නයක් බව.
“කොතෙක් ගහන්ටද බං? ඔන්න කමතේ මැටල් කියුබ් එකක් විතර වත් තිබුනානම්…”